මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ සංවර්ධන කටයුතුවලට සමගාමීව, එම අධිවේගී මාර්ගයට පිවිසෙන ප්‍රධාන සම්බන්ධක මාර්ග ජාලය සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 104.9ක මුදලක් යෙදවීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. බස්නාහිර, මධ්‍යම සහ වයඹ යන පළාත්වල මාර්ග ගමනාගමන පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ පවතින අධික රථවාහන තදබදයට තිරසාර විසඳුම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
මෙහි පළමු අදියර යටතේ කිලෝමීටර් 117.68ක සමස්ත දිගකින් යුත් ප්‍රධාන සම්බන්ධක මාර්ග 12ක් පුළුල් කර සංවර්ධනය කිරීමට නියමිත අතර, ජා-ඇල – ඒකල – ගම්පහ – යක්කල (කි.මී. 17.02), උඩුගම්පළ – දිවුලපිටිය (කි.මී. 14.88), කටුනායක – වේයන්ගොඩ (කි.මී. 13.32), මිනුවන්ගොඩ – ගම්පහ – මිරිස්වත්ත (කි.මී. 13.27) සහ මීගමුව – මීරිගම (කි.මී. 12.97) ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග මේ යටතේ සංවර්ධනය කෙරේ.
















