මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කිරීමෙන් අනතුරුව, එම මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මහනුවර නගරයේ තවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය කාලයේ ඇති වූ නායයෑම් හේතුවෙන් හානියට පත් වූ කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය. වත්තේගම – මාතලේ කොටස හැරුණු විට අනෙකුත් සියලුම දුම්රිය මාර්ග කොටස් මේ වසර අවසානය වන විට හෝ 2027 වසරේ මුල් මාස දෙක වන විට ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ. වත්තේගම සිට මාතලේ දක්වා වන කොටස ප්‍රතිසංස්කරණය කිරීමට තවත් මාස හයක පමණ කාලයක් ගත විය හැකි බව අමාත්‍යවරයා පැවසීය. දුම්රිය මාර්ගයේ ඇතැම් ප්‍රදේශවලට ප්‍රවේශ වීමේ අපහසුතා පවතින බැවින්, ගම්වාසීන්ගේ සහාය ඇතිව අතුරු මාර්ග ඔස්සේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.
සංචාරක කර්මාන්තයට සහ මහනුවර ආර්ථිකයට උඩරට දුම්රිය මාර්ගයේ ඇති වැදගත්කම අවබෝධ කරගෙන, සාමාන්‍ය ක්‍රමවේදයට වඩා ඉක්මනින් මෙම කටයුතු අවසන් කිරීමට අමාත්‍යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ඒකාබද්ධව කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















