පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව නඩු පවරන්නේද නැද්ද යන්න පිළිබඳ සිය ස්ථාවරය සැප්තැම්බර් 30 වැනිදා දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නීතිපතිවරයාට නියම කළේය.
මෙම නඩුව ඊයේ (08) කැඳවූ අවස්ථාවේදී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අටවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටියදී, 2023 සැප්තැම්බර් මාසයේ ඇමරිකානු සහ කියුබානු නිල සංචාරයක් අතරතුර ලන්ඩනයේ ‘වුල්වර්හැම්ප්ටන්’ විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16කට අධික රජයේ අරමුදල් වැය කිරීම මෙම විමර්ශනයට පාදක වී ඇත.
පොදු දේපළ පනත යටතේ සාවද්‍ය ලෙස රාජ්‍ය මුදල් පරිහරණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මොවුන් සැකකරුවන් ලෙස නම් කර තිබේ. නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා යන දෙදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
















