27 April 2024
#දේශීය

සුරැකුම් සහයක පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ උතුරුමැද පිරිසට සහතික පත්‍ර ලබා දෙයි

උතුරු මැද පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන රන් මාවත වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් රැකියා විදේශ ගත කිරීමේ අරමුණින් සුරැකුම් සහයක පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පිරිස සදහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී (28) දින සිදු කෙරිණි.

රන් මාවත වැඩසටහනෙන් හඳුනාගත් විදේශ ගත වීමට අපේක්ෂාවෙන් සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 3000 පමණ පිරිසෙන් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් තරුණ තරුණියන් සදහා කාණ්ඩ වශයෙන් මෙම පුුහුණුව ලබා දෙනු ලබයි. මෙම පුහුණුවෙන් අනතුරුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලොව පිළිගත් NVQ3 සහතික පත්‍රයක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙන ලබන සහතිකයක් මොවුන්ට පිරිනමනු ලැබීය. මේ වන විට ලොව සෑම රටකින් ම වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා පුහුණු ශ්‍රමිකයන්ට විශාල වශයෙන් ඉල්ලීම් ලැබී ඇත.

විදේශගත වීමට අවශ්‍ය අනිකුත් කටයුතු සඳහා බැංකු ණය පහසුකම් ලබාදීමට උතුරු මැද පළාත් සභාවේ තරුණ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත. මෙම පුහුණුව අවසන් කළ පුහුණු ලාභීන් ඉතාම කෙටි කාලයක් තුළ විදේශයන්හි රැකියාවන් සඳහා විදේශගත කිරීමට අවශ්‍ය සියලු කටයුතු උතුරු මැද පළාත් සභාව මගින් සූදානම් කර ඇත.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් තරුණ කටයුතු ක්‍රීඩා හා සමුපකාර අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර, පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත, පළාත් තරුණ කටයුතු ක්‍රීඩා හා සමුපකාර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂඛ බණ්ඩාර බුලත්සිංහල හා උතුරු මැද පළාත් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකරු සුනිල් හින්දරමුල්ල මහත්වරුන් ඇතුළු නිළධාරීන් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *