වසර 22ක් පුරා අඛණ්ඩව මෙරට ජීවිත රක්ෂණ වෙළඳපොළේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම, තම අලෙවි බලකායේ සුවිශේෂී දක්ෂතා ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ 2026 වාර්ෂික සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) හිදී පවත්වන ලදී. ‘Unstoppable Champions’ යන තේමාව යටතේ පැවති මෙම උළෙලේදී විශිෂ්ට කාර්යසාධනයක් පෙන්වූ නිලධාරීන් වෙනුවෙන් සම්මාන 370ක් පමණ ප්‍රදානය කෙරිණි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළුව 450කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී, කීර්තිමත් මිලියන් ඩොලර් වට මේසය (MDRT) සඳහා සුදුසුකම් ලැබූවන් සහ ‘Sales Super Star’ ජයග්‍රහකයින් ඇගයීමට ලක් විය. මියුනික් රේ (Munich Re) හි දකුණු සහ අග්නිදිග ආසියානු කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී නිවාස රාඕ මහතා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.
අඛණ්ඩව දක්වන ලද විශිෂ්ටත්වය වෙනුවෙන් ආර්. පී. එදිරිසිංහ මහතා සහ එස්. එස්. එච්. එම්. ටී. ලක්සිරි මහතා වෙත ටොයෝටා ඇක්සියෝ (Toyota Axio) මෝටර් රථ දෙකක් ප්‍රදානය කිරීම උළෙලේ විශේෂ අවස්ථාවක් විය. සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩ යටතේ ජයග්‍රහණය කළ පිරිස අතර හොඳම ජීවිත රක්ෂණ උපදේශක ලෙස ඒ. අයි. පී. මංජුල මහතාත්, හොඳම ඒකක ප්‍රධානී ලෙස එච්. ඩී. පතිරණ මහතාත්, හොඳම ශාඛා ප්‍රධානියා ලෙස ඒ. එස්. එල්. ප්‍රනාන්දු මහතාත් සහ හොඳම කලාපීය අලෙවි කළමණාකාරිණිය ලෙස ජේ. මීරා මහත්මියත් සම්මානයට පාත්‍ර වූහ.
2025 වසර අවසන් වන විට සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 44.2ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 72.43ක සමස්ත ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් රුපියල් බිලියන 31ක හිමිකම් සහ ප්‍රතිලාභ ලබා දී ඇති අතර, සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 287ක් දක්වා වර්ධනය වී තිබේ. අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙසත්, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙසත් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව ICCSL සහ CIMA ආයතන මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 අතරට ද මෙම සමාගම තේරී පත්ව සිටියි.















