ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණයට අනුව, මෙරට විශ්‍රාම අරමුදල් අංශයේ සිංහ කොටස හෙවත් 80.5%ක් නියෝජනය කරන සේවක අර්ථසාධක අරමුදල (EPF) 2025 වසරේදී වාර්තාගත වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. ඉතිහාසයේ ඉහළම සාමාජික දායක මුදල් සහ ආයෝජන ආදායම හේතුවෙන් 2025 වසර අවසානයේදී අරමුදලේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,942.9ක් (ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 5ක්) දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසරේ පැවති රුපියල් බිලියන 4,375.7ක අගයට සාපේක්ෂව 13.0%ක සැලකිය යුතු වර්ධනයකි.
2025 වසර තුළ සාමාජික දායක මුදල් ලැබීම් 15.6%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 270.8ක් ලෙස වාර්තා විය. විශේෂත්වයක් වන්නේ සාමාජිකයන් සහ උරුමක්කරුවන් වෙත ගෙවන ලද ප්‍රතිලාභ ප්‍රමාණය 6.4%කින් අඩු වී රුපියල් බිලියන 176.0ක් දක්වා පහත වැටීමයි. මේ හේතුවෙන් අරමුදලේ ශුද්ධ සාමාජික දායකත්වය රුපියල් බිලියන 94.8ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වර්ධනයක් සනිටුහන් කර තිබේ.
අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රුපියල් බිලියන 552.7ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 7.6%ක වර්ධනයකි. අරමුදලේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ පොලී ආදායම 11.4%කින් වර්ධනය වී රුපියල් බිලියන 506.9ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු සාර්ථක ප්‍රගතිය හේතුවෙන් ලැබුණු ලාභාංශ සහ ශුද්ධ ලාභයන් ද මෙම ආදායම් වර්ධනයට සෘජුවම දායක වී ඇත.
අරමුදලේ ආයෝජන ආදායම ඉහළ යාම මත බදු වියදම ද රුපියල් බිලියන 69.5ක් දක්වා වැඩි වී තිබේ. කෙසේ වෙතත්, 2025 වසර සඳහා සාමාජික ශේෂයන් මත 10.75%ක පොලී අනුපාතයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය මේ වන විට අනුමැතිය ලබා දී ඇත. අරමුදලේ මෙහෙයුම් වියදම් දළ ආදායමට සාපේක්ෂව 0.6%ක් වැනි ඉතා අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම ද මෙහි සුවිශේෂී ජයග්‍රහණයකි.















