ශ්‍රී ලංකාවේ තැඹිලි වගාව පුළුල් කරමින් නිෂ්පාදනය හා අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන හෙට (සැප්තැම්බර් 02) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්වගා කිරීමේ මණ්ඩලයේ මහායාය වතු පරිශ්‍රයේදී ආරම්භ වේ.
දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර, එය 2026 වසරේදී ගම්මාන 75ක්, 2027 දී ගම්මාන 80ක් සහ 2028 දී ගම්මාන 95ක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2030 වන විට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් වැඩිකර ගැනීම සහ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12 ඉක්මවා ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.
මෙම වැඩසටහන යටතේ ගොවීන් දිරිගැන්වීම සඳහා පවතින තැඹිලි ගසක් පුනරුත්ථාපනය කිරීමට රුපියල් 700ක මූල්‍ය සහනාධාරයක් ලබා දෙන අතර, රුපියල් 750ක් වටිනා නව තැඹිලි පැළයක් ගොවීන්ට රුපියල් 150ක සහනදායී මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත. මීට අමතරව, වගාකරුවන්, එකතු කරන්නන් සහ අපනයනකරුවන් ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම සහ පවුල් 21,250කට වැඩි පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් නව රැකියා හා ආදායම් මාර්ග නිර්මාණය කිරීම මෙමඟින් සිදු කෙරේ.
















