27 April 2024
#දේශීය

ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සේවකයින් අසනීප නිවාඩු වෙනුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයක්

2021 වර්ෂය සඳහා ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙනු ලබන දිරි දීමනාව (ප්‍රසාද දීමනා) මෙතෙක් ලබා නොදීම හේතුවෙන් ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ සේවකයින් අද (22) දින සිට සියලු සේවා කටයුතු වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය යන සියලු වෘත්තීය සංගම් ඒකමතිකව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ (21) පස්වරුවේ බළධාරීන් හා නිළධාරීන් දැනුම්වත් කරමින් වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව ලිපියක්ද නිකුත් කර ඇත.

මෙතෙක් 2021 වර්ෂයට අදාළ ප්‍රසාද දීමනා ලබා නොදීම හේතුවෙන් ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ සේවකයින් පසුගිය10 වැනි දින සිට අතිකාල රාජකාරී නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඊයේ (21) දින වන විටත් අදාළ ප්‍රසාද දීමනා ලබා නොදීම හේතුවෙන් සියලු සේවා කටයුතු වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වීමට තීරණය කර ඇත.

ලංකා රාජ්‍ය පොස්පේට් සමාගම නිෂ්පාදන ආයතනයක් වන බැවින් සේවා නියුක්තිකයන්ගේ පැමිණීම දිරිගැන්වීම සඳහා නිවාඩු ලබා ගැනීම අධෛර්යමත් කිරීම වෙනුවෙන් නොගන්නා අසනීප නිවාඩු සඳහා වාර්ෂිකව දිරිදීමනාවක් ලබා දෙනු ලබයි.1983 වසරේ සිට අසනීප නිවාඩු වෙනුවෙන් ලබා දෙන දිරි දීමනාව අඛණ්ඩව මේ දක්වා ලබා දී ඇත. මෙතෙක් පැවති ක්‍රියා මාර්ග අනුව පසුගිය වසර වල ජනවාරී 10 දිනයට ප්‍රථම වාර්ෂික ප්‍රසාද දීමනා මුදල් සේවා නියුක්තිකයින් වෙත ලබා දී ඇති නමුත් 2021 වර්ෂයේ ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් දිර දීමනා ගෙවීම් මේ දක්වා සිදු කර නොමැති වීම හේතුවෙන් අදාළ වෘත්තීය සමිති ඒකමතිකව මෙම වෘත්තීය ක්‍රියාමර්ගයට එළැඹ ඇත.

කොවිඩ් වසංගතය දැඩිව පැවති පසුගිය වර්ෂය තුළ රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තියට සමඟාමීව ලංකා පොස්පේට් පොහොර අඛණ්ඩව නිෂ්පාදනය කිරීමේ භාරධූර වගකීම ඉටු කිරීම සඳහා සියළු සේවා නියුක්තකයින් එකාවන්ව දැඩි කැපවීමකින් හා උනන්දුව මත ක්‍රියා කළ බවත්, ඒ අනුව මෙම වසරට අදාළ නිෂ්පාදන ඉලක්කය වන මෙට්ට්‍රික් ටොන් 60850 ක ප්‍රමාණය ඉක්මවා මෙට්ට්‍රික් ටොන් 68216 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට දායක වී ඇත.තවද ඒ අනුව 2021 වර්ෂයේ අලෙවි ඉලක්කය වන මෙට්ට්‍රික් ටොන් 61455 ක ප්‍රමාණය ඉක්මවා මෙට්ට්‍රික් ටොන් 68216 ක අලෙවියක්ද සිදු කර ඇති බැවින් මේ වන විට අලෙවි ඉලක්කය ඉක්මවා අලෙවි කටයුතු සිදු කර ඇති නමුත් මේ දක්වා සේවකයින් කැපකිරීම් කර බලාපොරොත්තු වූ ඉතිරි වෛද්‍ය නිවාඩු සඳහා ලබා දෙනු ලබන මෙම ප්‍රසාද දීමනාව නොලැබීම හේතුවෙන් දැඩි කළකිරීමකට පත්ව ඇති බවද එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ඊයේ (21) වැනි දින වන විටත් ප්‍රසාද දීමනා ගෙවීම් කිරීමට ආයතනය අපොහොසත් වීම හේතුවෙන් අද (22) දින සිට ආයතනයේ සියලු සේවානියුක්තිකයින් පෙරවරු 8.00 සිට පස්වරු 04 දක්වා සේවයට පැමිණ සියලු සේවා කටයුතු වලින් ඉවත් වීමටත්, අදාළ ප්‍රසාද දීමනාව ලබා දෙන තෙක් අඛණ්ඉ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කරන බවත් ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය යන එම ආයතනයේ සියලු වෘත්තීය සංගම් ලිඛිතව බළධාරීන් හා නිළධාරීන් දැනුම්වත් කරමින් ලිපියක්ද නිකුත් කර ඇත.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *