අනාවැකි වෙළඳපොළ (Prediction markets) නියාමනය කිරීමේ පූර්ණ බලය තමන් සතු බව පවසමින් ඇමරිකානු වෙළඳ භාණ්ඩ අනාගත ගනුදෙනු කොමිසම (CFTC) නිව්යෝර්ක් ප්‍රාන්තයට එරෙහිව නඩු පවරා තිබේ. නිව්යෝර්ක් ප්‍රාන්ත නීතිපති ලෙටිෂියා ජේම්ස් මහත්මිය විසින් කොයින්බේස් (Coinbase) සහ ජෙමිනි (Gemini) යන ආයතනවලට එරෙහිව පවරා ඇති නඩු හරහා තම මධ්‍යම රජයේ නියාමන බලතල උල්ලංඝනය වන බව කොමිසම පෙන්වා දෙයි. නිව්යෝර්ක් නීතිපතිවරිය විසින් පසුගිය අප්‍රේල් 21 වනදා අදාළ ආයතනවලට එරෙහිව නඩු පවරනු ලැබුවේ ඔවුන් සූදුව ප්‍රවර්ධනය කරන බවට චෝදනා කරමිනි.
මැන්හැටන් ෆෙඩරල් උසාවියේ ගොනු කර ඇති මෙම පැමිණිල්ල මගින් CFTC අවධාරණය කරන්නේ වෙළඳ භාණ්ඩ ව්‍යුත්පන්න වෙළඳපොළවල් අධීක්ෂණය කිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලය විසින් නිර්මාණය කර ඇති සුවිශේෂී මධ්‍යම රජයේ නියාමන ක්‍රමවේදයට නිව්යෝර්ක් ප්‍රාන්තයේ ක්‍රියාවන් බාධා පමුණුවන බවයි. අනාවැකි වෙළඳපොළවල් යනු මූල්‍යමය වටිනාකමක් සහිත සිදුවීම් පිළිබඳව අනාවැකි පළකරන වෙළඳපොළවල් වන අතර, එහි පාලනය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය සහ මධ්‍යම රජයේ නියාමන ආයතන අතර ඇති වී තිබෙන මෙම නීතිමය අරගලය මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.














