ඇමෙරිකානු වෙළඳ භාණ්ඩ අනාගත ගනුදෙනු කොමිසම (CFTC) විසින් නිව්යෝර්ක් ප්‍රාන්තයට එරෙහිව මෑහටන් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබේ. කොන්ග්‍රස් මණ්ඩලය විසින් තමන් වෙත පවරා ඇති අනාවැකි වෙළඳපොළ (Prediction Markets) නියාමනය කිරීමේ සුවිශේෂී බලයට නිව්යෝර්ක් ප්‍රාන්තය මැදිහත් වන බවට CFTC මෙහිදී චෝදනා කරයි.
මොකක්ද මේ ගැටලුව?
මෙම අර්බුදය හටගත්තේ නිව්යෝර්ක් නීතිපති ලෙටිෂියා ජේම්ස් විසින් Coinbase සහ Gemini යන සමාගම්වලට එරෙහිව නඩු පැවරීමත් සමඟයි. එම සමාගම් විසින් පවත්වනු ලබන අනාවැකි වෙළඳපොළවල් “සූදුවක්” (Gambling) ලෙස හඳුන්වමින් ඒවා සඳහා ප්‍රාන්ත ක්‍රීඩා කොමිසමේ බලපත්‍ර ලබාගත යුතු බව නීතිපතිවරිය තර්ක කරයි. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵල සහ ක්‍රීඩා තරග සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම සූදුවක් මිස මූල්‍ය ව්‍යුත්පන්න (Derivatives) නොවන බව ඇගේ මතයයි.
දේශපාලන ගැටුම
නිව්යෝර්ක් ආණ්ඩුකාර කැතී හෝචුල් සහ නීතිපති ලෙටිෂියා ජේම්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් චෝදනා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය පාරිභෝගික ආරක්ෂාවට වඩා මහා පරිමාණ සමාගම්වල අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි. නිව්යෝර්ක් ප්‍රාන්තයේ සූදු නීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නා බව ඔවුහු අවධාරණය කළහ.
අනාවැකි වෙළඳපොළේ ජනප්‍රියතාවය
2024 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී මත විමසුම්වලට වඩා නිවැරදිව ජයග්‍රාහකයා අනාවැකි කීමට මෙම වෙළඳපොළවල් සමත් වීමත් සමඟ ඒවායේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. නිව්යෝර්ක් නීතිපතිවරිය තවදුරටත් චෝදනා කරන්නේ වයස අවුරුදු 21 ට අඩු තරුණ තරුණියන්ට ද මෙම ඔට්ටු ඇල්ලීමේ අවස්ථාව ලබාදීමෙන් ප්‍රාන්ත නීතිය උල්ලංඝනය කර ඇති බවයි. නිව්යෝර්ක් ප්‍රාන්තයට අමතරව ඇරිසෝනා, කනෙක්ටිකට් සහ ඉලිනොයිස් යන ප්‍රාන්තවලට එරෙහිව ද CFTC විසින් මීට පෙර මෙවැනිම නඩු පවරා ඇත.














