හිටපු රාජ්ය අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
ඒ, රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහාය.
වාර්තාවට අනුව, 2022 සැප්තැම්බර් 8 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ඔහු ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස කටයුතු කළ කාලයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය සඳහා නිසි ක්රමවේදයකින් තොරව බලපත්ර ලබාදීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ. එම බලපත්ර ලබාගැනීමට අදාළව ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පෞද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් වේ.
මන්ත්රීවරයාට සැප්තැම්බර් 9 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, එදින ඔහු පෙනී නොසිටීම හේතුවෙන් අද දිනයේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.














