ඩුබායිහි අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලාංකික සේවකයින් 2,000 දෙනෙකු බඳවා ගැනීමට චීන හාබර් ඉංජිනේරු සමාගම (CHEC) තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් එම සමාගමේ මානව සම්පත් කළමනාකරු සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා, චැන්සරි ප්‍රධානී සුභාෂිණි සිල්වා මහත්මිය සහ රැකියා හා සුබසාධන උපදේශක මනෝරි විතානපතිරණ මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත. මෙහිදී අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නිපුණ සහ අර්ධ නිපුණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ඩුබායිහි ක්‍රියාත්මක වන විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන මෙම ගුවන් තොටුපළ පුළුල් කිරීම හරහා එය ලොව විශාලතම ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ. ඉදිරි වසර කිහිපය තුළ මෙහි ප්‍රධාන ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර, මෙම පියවර හරහා ශ්‍රී ලාංකිකයින්ට විදේශ රැකියා අවස්ථා සැලකිය යුතු ප්‍රමාණයක් උදාවනු ඇති බවත් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ශ්‍රම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත් කොන්සල් ජනරාල් කාර්යාලය පවසයි.
















