යාපනය චෙම්මනි සිත්තුපත්ති ප්‍රදේශයේ සිදු කෙරෙන කැණීම්වලදී හමු වූ සමූහ මිනීවළෙන් සොයාගත් මිනිස් දේහ සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙය මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම සමූහ මිනීවළ ලෙස වාර්තා වේ. මීට පෙර මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල ආශ්‍රිතව සොයාගත් දේහ 342ක් තිබූ ස්ථානය උතුරු පළාතේ විශාලතම සමූහ මිනීවළ ලෙස සැලකෙමින් පැවතුණි.
අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.කේ. නිරංජන් මහතා පවසන්නේ, චෙම්මනි කැණීම්වල හයවන අදියරේ 25 වන දින අවසානය වන විට දේහ 360ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් 351ක් දැනට ගොඩගෙන අවසන් බවත්ය. 2026 අප්‍රේල් 27 වන දින හයවන අදියරේ කැණීම් ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයින් 112 දෙනෙකුගේ දේහයන් සොයාගෙන තිබේ.
මෙම කැණීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනිනුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ, කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරණවන් යන මහත්වරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. කැණීම් අතරතුර කුඩා දරුවෙකුගේ යැයි සැකකෙරෙන අස්ථි කොටස්, රන් ආභරණයක් සහ කාසි කිහිපයක් ද හමුවී ඇත.
2025 සැප්තැම්බර් 06 වන දින පස්වන අදියර අවසන් වන විට දේහ 239ක් ගොඩගෙන තිබුණි. මේ දක්වා සොයාගත් සියලුම අස්ථි කොටස් සහ පුරාවස්තු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරණවන් මහතාගේ භාරයේ සුරක්ෂිතව තබා ඇත.
උතුරු පළාතේ මීට පෙරද විවිධ ස්ථානවලින් සමූහ මිනීවළවල් හමුවී ඇත. 2013 වසරේ මන්නාරම තිරුකේතීශ්වරම් ප්‍රදේශයෙන් දේහ 88ක්, 2018-2019 වසරවලදී මන්නාරම සතොස ස්ථානයෙන් දේහ 342ක් සහ 2023-2024 කාලයේ මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් දේහ 52ක් සොයාගැනීම ඒ අතර වේ. කොක්කුතුඩුවායි විමර්ශනයන්ගෙන් අනතුරුව හෙළි වූ චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
















