ස්වභාවික ආපදාවලින් පමණක් නොව, දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන් ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශ වී යා හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පවසයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් කිසිදු ජාත්‍යන්තර ආධාරයක් හෝ සහායක් මඟින් රට යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය. අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් පැවැති උත්සවයකදී අදහස් දක්වමින්ය.
ජනතා ස්වෛරීභාවයේ ප්‍රධාන සංරචකයක් වන අධිකරණ බලය ජනතාවගෙන් උරුම වූවක් බව පෙන්වා දුන් අගවිනිසුරුවරයා, විනිසුරුවරුන් ක්‍රියාත්මක කරන්නේ ජනතාව සතු එම බලය බව සිහිපත් කළේය. “ඔබ එම බලය ඔබේ නිවසින් ගෙන එන්නේ නැත. අපි ඔබට බලය ලබා දෙන්නේ ද නැත. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිසම ද නොවේ. ඔබට බලය ලබා දෙන්නේ ජනතාව. ඒ ජනතාවගේම ප්‍රයෝජනය සඳහායි. එය මතක තබා ගත යුතුයි” යනුවෙන් ඔහු පැවසීය. අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන්ගේ පෞද්ගලික වාසිය සඳහා නොව, ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම සඳහාම පවත්වාගත යුතු බව ද ඔහු කියා සිටියේය.
නීති වෘත්තිය පිළිබඳව ද අදහස් දක්වමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ හොඳ කීර්තියක්, නිපුණතාවයක් සහ දැනුමක් ඇති පුද්ගලයින් පමණක් නීතිඥවරුන් ලෙස බඳවාගත යුතු අතර, ලියාපදිංචි වීමෙන් පසුව ද ඔවුන් සදාචාරාත්මක හැසිරීම දිගටම පවත්වාගෙන යා යුතු බවයි.
















