Instagram, Facebook, Messenger සහ Meta Horizon භාවිත කරන යොවුන් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව දෙමාපිය අධීක්ෂණ මෙවලම් (Parental Supervision Tools) කට්ටලයක් හඳුන්වා දීමට Meta සමාගම පියවර ගෙන තිබේ. දරුවන් අන්තර්ජාලය තුළ නිරත වන ක්‍රියාකාරකම් පිළිබඳව දෙමාපියන්ට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර මෙම නව යාවත්කාලීන කිරීම් හරහා විශේෂාංග රැසක් දෙමාපියන් වෙත විවෘත වේ.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ Instagram ඇල්ගොරිතම (Algorithm) හරහා දරුවාට නිර්දේශ වන කරුණු මොනවාදැයි පරීක්ෂා කිරීමට දැන් දෙමාපියන්ට අවස්ථාව ලැබීමයි. ඒ අනුව ක්‍රීඩා, ඡායාරූපකරණය හෝ සංගීතය වැනි දරුවා වැඩිපුර උනන්දුවක් දක්වන පොදු විෂය පථයන් දෙමාපියන්ට දැකගත හැකි වුවද, දරුවා නරඹන නිශ්චිත පෝස්ට් හෝ සිදුකරන සෝදිසි කිරීම් මොනවාදැයි බැලීමට දෙමාපියන්ට අවසර නොලැබෙන බව Meta සමාගම අවධාරණය කරයි.
තවද Meta සමාගමට අයත් සියලුම සමාජ මාධ්‍ය ජාලයන්හි ආරක්ෂණ සැකසුම් දැන් ‘Family Center’ නම් වූ තනි මධ්‍යස්ථානයක් හරහා පාලනය කළ හැකිය. මින් පෙර එක් එක් ඇප් එක සඳහා වෙන වෙනම සිදුකළ යුතු වූ අධීක්ෂණ ආරාධනා දැන් එක් ආරාධනාවක් හරහා සියලු සේවාවන් සඳහා ක්‍රියාත්මක කිරීමට හැකිවීම දෙමාපියන්ට විශාල පහසුවකි.
Meta පවසන පරිදි Instagram අධීක්ෂණ මෙවලම් භාවිත කරන යොවුන් දරුවන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර මෙය අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් තුළ ඇති උනන්දුව පෙන්නුම් කරන්නකි. මෙම නව විශේෂාංග මේ වන විට ලොව පුරා ව්‍යාප්ත කරමින් පවතින අතර ඉදිරි දිනවලදී සියලුම පරිශීලකයන්ට මෙය භාවිත කිරීමේ අවස්ථාව හිමි වනු ඇත.














