පරිපූර්ණ පවුල් පරිසරයක් දරුවකුගේ පෞරුෂ වර්ධනයට අත්‍යවශ්‍ය බවත්, සොඳුරු පවුලක හැදී වැඩෙන දරුවාගේ පෞරුෂය කිසිවකුට විනාශ කළ නොහැකි බවත් ළමා හා කාන්තා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය. ගම්පහ පැවති මුල් ළමා විය රැකවරණය පිළිබඳ ජාතික වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
වැඩිහිටියන්ගේ පීඩනයන් හා ප්‍රචණ්ඩත්වය දරුවන් මත මුදා හැරීම තුළින් දරුවන් ද ආවේගශීලී සමාජයක් දෙසට තල්ලු වන බව ඇමැතිවරිය පෙන්වා දුන්නාය. අතීතයට අයත් වැඩිහිටි පරපුර දරුවන්ගේ අනාගත මාවතට බාධා නොකර, ඔවුන්ට ගැළපෙන අයුරින් වෙනස් වීමට වැඩිහිටියන් සූදානම් විය යුතු බව ඇය අවධාරණය කළාය.
පහරදීම් වෙනුවට දරුවන් ධනාත්මකව හික්මවීමටත්, ගැටලු සාකච්ඡාවෙන් විසඳා ගැනීමට ඔවුන්ට මඟ පෙන්වීමටත් වැඩිහිටියන් කටයුතු කළ යුතු බව ද ඇමැතිවරිය වැඩිදුරටත් පැවසුවාය.
















