ළමා අපයෝජන, HIV ව්‍යාප්තිය සහ අඩු වයස් ගැබ් ගැනීම් වළක්වා ගැනීමේ අරමුණින් දරුවන්ට වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය ලබාදීම ජාතික වගකීමක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව මෙම අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ ජාතික සන්නිවේදන මාර්ගෝපදේශය, ඔසප් සෞඛ්‍යය පිළිබඳ වාර්තාව සහ 6-7 ශ්‍රේණි සඳහා ගුරු අත්පොතක් එළිදැක්විණි. 2025 වසරේදී පමණක් ළමා අපයෝජන පැමිණිලි 10,455ක්, HIV ආසාදිතයන් 874ක් සහ අඩු වයස් ගැබ් ගැනීම් 8,700ක් වාර්තා වී ඇති පසුබිමක, දරුවන්ට නිවැරදි දැනුම ලබාදීම මගින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කළ හැකි බව ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙම අධ්‍යාපනික වැඩපිළිවෙළට එරෙහි වන පුද්ගලයන් ඉහත ගැටලුවල වගකීම භාර ගත යුතු බවත්, බොහෝ ළමා අපයෝජනවල මූලික හේතුව නිවැරදි දැනුම නොමැතිකම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස ගොඩනැගීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.
















