රාජ්‍ය අංශයේ රැකියාවකට අවස්ථාවක් සොයමින් සිටින උපාධිධාරීන් සහ වෘත්තිකයන් සඳහා වැදගත් පුවතක් වාර්තා වේ. මෙරට ළමා පරපුරේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් කැපවී කටයුතු කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජාතික ළමාරක්ෂක අධිකාරියේ මේ වන විට නිලධාරීන් 300කට ආසන්න බරපතළ පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව අනාවරණය වී තිබේ.
අධිකාරියේ සාමාන්‍ය කටයුතු සහ දිවයින පුරා විහිදී පවතින පළාත් හා දිස්ත්‍රික් කාර්යාල පද්ධතියේ රාජකාරි නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා 600ක පමණ සේවක බලකායක් අවශ්‍ය වුවද, දැනට සේවයේ නියුතු සංඛ්‍යාව එම ප්‍රමාණයෙන් අඩක් දක්වා පහත වැටී ඇත.
මෙම පුරප්පාඩු අතර ප්‍රධාන වශයෙන් පරිපාලන නිලධාරීන්, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරීන්, දිස්ත්‍රික් මනෝවිද්‍යා නිලධාරීන්, ගිණුම් සහායකයන් සහ සහකාර උපදේශකවරුන් වැනි ක්ෂේත්‍ර රැසක තනතුරු දීර්ඝ කාලයක සිට පුරප්පාඩුව පවතී.
ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන වැළැක්වීම, බාලවයස්කාර දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ළමා හිංසනයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ආයතනික යාන්ත්‍රණය සම්බන්ධීකරණය සහ නියාමනය කිරීම මෙම අධිකාරිය සතු ප්‍රධානතම වගකීම වේ. මෙම තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කිරීම මගින් එම කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කිරීමට රජය අපේක්ෂා කරයි.
















