කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ දැරියකට අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා එම සංසදය පසුගිය ජූනි 5 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
එම රැස්වීමේදී ගනු ලැබූ ප්‍රධාන තීරණ සහ සාකච්ඡා වූ කරුණු පහත පරිදි වේ:
විමර්ශන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සිද්ධියට අදාළ සියලුම විමර්ශන කටයුතු අධිකරණ නියෝගවලට අනුකූලව අතිශය දැඩිව සිදු කරන ලෙස සංසදය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. විශේෂයෙන්ම නඩුවට අදාළ වෛද්‍ය වාර්තා සහ අධිකරණ වෛද්‍ය වාර්තා කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් දන්වා ඇත. මෙම නඩුව අනුරාධපුරය, අත්තනගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශ තුනක විභාග වන බැවින්, එම සියලුම අධිකරණ ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීමට මැදිහත් වන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියට උපදෙස් දෙන ලදී.
වින්දිත දැරියගේ සුබසාධනය සුරැකීම වෙනුවෙන් නඩු තුනකට සම්බන්ධ වීම හේතුවෙන් දැරියට සිදුවන නැවත නැවතත් සිදුවන මානසික පීඩාව (trauma) අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස සංසදය ඉල්ලා සිටියේය. ඒ සමඟම දැරියගේ අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. නීතිමය ක්‍රියාවලීන් පහසු කිරීම සහ රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර තිබේ.
නව මාර්ගෝපදේශ සහ අනාගත පියවර සම්බන්ධයෙන් ළමා අපචාර සිද්ධීන් වාර්තා කිරීමේදී සහ නඩු විභාග කිරීමේදී දරුවාගේ පෞද්ගලිකත්වය, ආරක්ෂාව සහ ගරුත්වය සුරැකෙන පරිදි නව මාර්ගෝපදේශ සකස් කිරීමට සංසදය තීරණය කළේය. මේ සඳහා සංසදය යටතේ ක්‍රියාත්මක වන අනුකමිටුවක් මැදිහත් වනු ඇති අතර, ළමා අපචාර නඩු සම්බන්ධ නීතිමය සහ ප්‍රායෝගික අභියෝග ජය ගැනීම සඳහා ඔවුන් අනාගතයේදී අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ඇත.
















