කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව පැවති පුහුණු තරගයකදී නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකම ජයග්‍රහණය කරමින් සිය සුදානම මැනවින් විදහා දැක්වීය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 143ක් ලබා ගැනීමට සමත් විය. නෙදර්ලන්ත ඉනිම වෙනුවෙන් හෙදර් සීගර්ස් ලකුණු 48ක් සහ ස්ටෙරේ කාලිස් ලකුණු 45ක් ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබා දුන් නමුත්, තරගයේ අවසන් භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දක්ෂ ලෙස පන්දු යවමින් අවසන් කඩුලු 4 ලකුණු 11ක් තුළ දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී යම් පසුබෑමකට ලක්වූවත්, නායිකා චමරි අතපත්තුගේ නොපැමිණීම හමුවේ වැඩබලන නායිකාව ලෙස කටයුතු කළ හර්ෂිතා සමරවික්‍රම සහ හන්සිමා කරුණාරත්න අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක සබඳතාවය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය. හන්සිමා කරුණාරත්න පන්දු 54කදී නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර, හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගියාය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු නිල ලෝක කුසලාන තරගයට ජූනි 12 වැනිදා සත්කාරක එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය. නෙදර්ලන්ත කණ්ඩායම සිය මංගල ලෝක කුසලාන තරගයට ජූනි 14 වැනිදා බංග්ලාදේශයට එරෙහිව එක් වනු ඇත.














