ලෝකයේ සිටින දරුවන්ගෙන් බහුතරයක් අවම වශයෙන් එක් දේශගුණික අවදානමකට හෝ ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අද (16) නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කරයි. එම වාර්තාවට අනුව, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන නියඟ තත්ත්වයන් නිසා දරුවන් බිලියන 1.8ක් සහ අධික උණුසුම හේතුවෙන් දරුවන් බිලියන 1.2ක් දැඩි අවදානමකට ලක්ව සිටිති. දරුවන් දේශගුණික අවදානම්වලට අසමානුපාතික ලෙස ගොදුරු වී ඇති බවත්, එම අවදානම් අවම කිරීම සඳහා යටිතල පහසුකම්, ආපදා කළමනාකරණය සහ දේශගුණික අනුවර්තන ක්‍රියාමාර්ග සඳහා රජයන් කඩිනමින් ආයෝජනය කළ යුතු බවත් යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.
වාර්තාවේ අනාවරණය කර ඇති කරුණු අනුව, දරුවන් බිලියන 1.1ක් එකිනෙක අතිච්ඡාදනය වන දේශගුණික අවදානම් තුනකට හෝ වැඩි ගණනකට ලක්ව සිටිති. මෙය රජයන් සහ සමාජ සේවා පද්ධතිවලට දරාගත නොහැකි අනතුරුදායක තත්ත්වයක් බව වාර්තාව පෙන්වා දෙයි. ග්‍රීෂ්ම සෘතුමය කුණාටු හේතුවෙන් දරුවන් මිලියන 662ක්, ගංගා ආශ්‍රිත ගංවතුරින් මිලියන 337ක් සහ වෙරළාශ්‍රිත ගංවතුරින් මිලියන 33ක් අවදානමට ලක්ව ඇත. මීට අමතරව මිලියන 1000ක දරුවන් මැලේරියා රෝග අවදානමට ලක්ව ඇති අතර, ඉන් බහුතරයක් අප්‍රිකානු කලාපයේ වෙසෙති.
2024 වසරේදී පමණක් රටවල් 85ක දරුවන් මිලියන 242කගේ පාසල් අධ්‍යාපනයට දේශගුණික අවදානම් හේතුවෙන් බාධා ඇති විය. සෝමාලියාව, මැඩගස්කරය, මියන්මාරය, කාම්බෝජය සහ පාකිස්ථානය දේශගුණික විපර්යාස හමුවේ වැඩිම බලපෑමක් සිදුවන රටවල් ලෙස හඳුනාගෙන ඇත. බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නයිජීරියාව, පාකිස්ථානය සහ ටැන්සානියාව වැනි කෘෂිකර්මාන්තය මත යැපෙන ආර්ථිකයන්හි නියඟයට ලක්වන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. මෙම වාර්තාව දේශගුණික අවදානම්වලට අමතරව වායු දූෂණය, දේශගුණික විපර්යාස හේතුවෙන් පැතිරෙන රෝග සහ ජලය, සෞඛ්‍ය සහ සමාජ සේවා සඳහා පවතින ප්‍රවේශය පිළිබඳ දත්ත ද විශ්ලේෂණය කර ඇත.
















