හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වනු ඇති බවට පවතින බලාපොරොත්තු සහ ඉරානයට එරෙහිව පවතින ගැටුම් සමනය කිරීම සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය සමග ඇතිකරගත් මූලික එකඟතාවය හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී තිබේ.
කෙසේ වෙතත්, පාරිභෝගිකයින්ට මෙම සහනය පෙට්‍රල් පිරවුම්හල්වලින් සැබෑ ලෙසම අත්විඳීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාස තුනකට වැඩි කාලයක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය බලශක්ති වෙළෙඳපොළ බරපතල අර්බුදයකට ලක්ව තිබුණි. පසුගිය සඳුදා වන විට අමෙරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4.06ක් ලෙස පැවති අතර, එය මැයි මස වාර්තා වූ උපරිම මිල වන ඩොලර් 4.48ට වඩා සුළු පහත වැටීමකි. කෙසේ වෙතත්, ගැටුම් ආරම්භ වීමට පෙර පෙබරවාරි මස පැවතියේ ගැලුමකට ඩොලර් 2.98ක මිලකි. අමෙරිකාවේ බලශක්ති මිල ගණන් පසුගිය මාස දෙක තුළ පමණක් සියයට 7.7කින් ඉහළ ගොස් ඇති අතර, වසරකට පෙර පැවති මිලට වඩා සියයට 40කින් ඉහළ ගොස් ඇත.
ඉන්ධන මිල ගණන් නිරීක්ෂණය කරන ‘GasBuddy’ ආයතනයේ තෙල් විශ්ලේෂණ ප්‍රධානී පැට්‍රික් ඩි හාන් පවසන්නේ, අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවූ මූලික එකඟතාවය ඉදිරි දින කිහිපය තුළ මිල තවදුරටත් පහත වැටීමට මග පාදනු ඇති බවයි. කෙසේ වෙතත්, යුද්ධයට පෙර පැවති මිල මට්ටමට නැවත පත්වීමට බොහෝ විට 2027 වසර දක්වා කාලයක් ගත විය හැකි බවත්, ගෝලීය තෙල් තොග යථා තත්ත්වයට පත්වීමට මාස ගණනාවක් හෝ වසරකට වැඩි කාලයක් ගත විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සමුද්‍ර සන්ධිය විවෘත වූ වහාම ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවයි. නමුත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ සැපයුම් දාමය යථා තත්ත්වයට පත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කරන තරම් වේගවත් මිල පහත වැටීමක් වහාම සිදු නොවනු ඇති බවයි.
















