ප්‍රසිද්ධ ගායන ශිල්පී තිලංක විදූෂ හෙවත් ‘චිලී’ මහතාට එරෙහිව 2014 වසරේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඔහු චෝදනා හතරකට වරදකරු කර තිබේ.ඩෙංගු පරීක්ෂාවක් සඳහා තලංගම, වෙළඳගොඩ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව විභාග විය. ඒ අනුව එක් චෝදනාවකට රුපියල් 1,500 බැගින් දඩ නියම කළ අධිකරණය, සාපරාධී බිය ගැන්වීමට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වන්දි ගෙවන ලෙසත් නියෝග කර ඇත. අදාළ නිලධාරීන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් එම වන්දි මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.














