ලොව සූර්ය බලශක්ති තාක්ෂණයේ තම ආධිපත්‍යය රැක ගැනීම සඳහා වඩාත් දියුණු සූර්ය පැනල නිෂ්පාදන උපකරණ ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීම සීමා කිරීමට චීන බලධාරීන් සලකා බලමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් චීන නිලධාරීන් දැනටමත් එරට ප්‍රධාන උපකරණ නිෂ්පාදකයින් සමඟ මූලික සාකච්ඡා පවත්වා ඇති අතර, මෙම පියවර හරහා ඇමෙරිකානු සමාගම් මෙරට තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සූර්ය පැනල කර්මාන්තශාලා ව්‍යාපෘති දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතී. ලෝකයේ සූර්ය පැනල උපාංග නිෂ්පාදනයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් චීනය සතු වන අතර, සූර්ය කෝෂ සෑදීමේ උපකරණ සපයන ලොව ප්‍රමුඛතම සමාගම් 10ම පිහිටා ඇත්තේ ද චීනය තුළයි.
මෙම අපනයන සීමා පැනවුවහොත් එය ඇමෙරිකාවේ බලශක්ති සුරක්ෂිතතාවයට පමණක් නොව, අභ්‍යවකාශය පදනම් කරගත් පරිගණක තාක්ෂණ ව්‍යාපෘති (Space-based computing) සඳහා ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ටෙස්ලා (Tesla) වැනි සමාගම්වල සූර්ය බලශක්ති ඉලක්කයන් චීන නිෂ්පාදකයින්ට තර්ජනයක් ලෙස සැලකීම මෙම තීරණයට එක් හේතුවක් වී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වශයෙන් බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති මොහොතක, චීනය සහ ඇමෙරිකාව අතර ඇති වන මෙම තාක්ෂණික ගැටුම ඉදිරි වසර කිහිපය තුළ ලෝක ආර්ථිකයේ දිශානතිය තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු ඇත.















