තායිවානයට එරෙහිව චීනය හමුදාමය පීඩනයක් එල්ල කරන බවට ඇමරිකා එක්සත් ජනපදය නගන චෝදනා සත්‍ය විකෘති කිරීමක් බවත්, ඒවා “වෛරී සහගත චේතනාවෙන්” යුතුව සිදු කරන්නක් බවත් චීන රජය බදාදා දිනයේදී ප්‍රකාශ කළේය. බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී චීනයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින්හුවා (Chen Binhua) අවධාරණය කළේ තායිවානය සම්බන්ධ කරුණු චීනයේ අභ්‍යන්තර කාරණයක් වන අතර, ඒ සඳහා බාහිර මැදිහත්වීම් කිසිසේත් ඉඩ නොදෙන බවයි.
තායිවාන විපක්ෂ නායිකා චෙං ලි-වුං (Cheng Li-wun) පසුගියදා බෙයිජිංහිදී ජනාධිපති ෂී ජින්පින් හමු වීමෙන් අනතුරුව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන් ඉල්ලා සිටියේ තායිවානය සමඟ සාකච්ඡා කරන ලෙසත් හමුදාමය බලපෑම් නතර කරන ලෙසත්ය. එහෙත් චීනය පවසන්නේ තායිවාන ජනාධිපති ලායි චිං-ටේ (Lai Ching-te) බෙදුම්වාදියෙකු වන බැවින් ඔහු සමඟ සාකච්ඡා නොකරන බවයි. චෙං ලි-වුං සිය සංචාරය හරහා සාමය උදා කිරීමට උත්සාහ කරන බව පවසන අතර, චීනය ද සාමකාමී නැවත ඒකාබද්ධ වීමක් (peaceful reunification) පිළිබඳ පණිවිඩය වඩ වඩාත් අවධාරණය කරමින් සිටී. එසේ වුවද, තායිවානය පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් බලය භාවිතා කිරීමේ අයිතිය තමන් සතු බව චීනය මීට පෙර කිහිප වරක්ම ප්‍රකාශ කර තිබේ.














