2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධ නඩුව විභාග කරන විශේෂ මහාධිකරණය හමුවේ සියලු පිළිගැන්වීම් ඊයේ (23) අවසන් කරන ලෙස සභාපති විනිසුරු උපුල් රාජකරුණා මහතා දෙපාර්ශ්වයටම දැනුම් දුන්නේය. සභාපති විනිසුරු උපුල් රාජකරුණා, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.
පසුගිය මාර්තු 19 වැනිදා සිට ඊයේ දක්වා කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීමට අදාළව පමණක් සාක්ෂි 171ක් මෙහෙයවා ඇත. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් පිරිසක් මහාධිකරණය හමුවට පැමිණ සාක්ෂි ලබා දුන් අතර තවත් පිරිසකගේ සාක්ෂි සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ලබාගෙන තිබේ. 2025 දෙසැම්බර් මස ආරම්භ වූ මෙම විශේෂ මහාධිකරණ ක්‍රියාවලිය තුළ ෂැංග්‍රිලා සහ කිංග්ස්බරි හෝටල්වල සාක්ෂිකරුවන් ඇතුළු 150කට අධික පිරිසක් මේ වන විට සාක්ෂි ලබා දී අවසන්ය.
ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ 13 වන සැකකරු වන මොහමඩ් ඉස්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාරය දැනුම් දුන් අතර ඔහුට ජලභීතිකා එන්නත ලබා දී ඇති බව ද සඳහන් විය. මෙම නඩුවේ චුදිතයන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,170ක් ඉදිරිපත් කර ඇති අතර 17 වන චුදිත මේ වන විට මියගොස් ඇත. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.














