තායිවානයට අවි ආයුධ අලෙවි කිරීමට සම්බන්ධ වූ බවට චෝදනා කරමින් යුරෝපීය ආයතන හතක් සඳහා ද්විත්ව භාවිත භාණ්ඩ (Dual-use items) අපනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට චීන වාණිජ අමාත්‍යාංශය අද (24) පියවර ගත්තේය. මෙම ආයතන චීනයේ අපනයන පාලන ලැයිස්තුවට (Export control list) ඇතුළත් කර ඇති බව බීජිං පාලනය නිල වශයෙන් නිවේදනය කළේය.
මෙලෙස තහනමට ලක්වූ ආයතන අතර බෙල්ජියම කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම ආරක්ෂක සහ ක්‍රීඩා ආයුධ නිෂ්පාදන සමාගමක් වන FN Browning ආයතනය ද වන බව වාර්තා වේ. තායිවානය සිය දේශසීමාවේ කොටසක් ලෙස සලකන චීනය, තායිවානය සමඟ සිදුකරන ඕනෑම විදේශීය අවි ගනුදෙනුවකට සිය දැඩි විරෝධය පළ කරයි. මෙම නව තහනම හරහා අදාළ යුරෝපීය ආයතනවලට චීනයෙන් ලබාගන්නා උසස් තාක්ෂණික උපාංග සහ අමුද්‍රව්‍ය සැපයුම අඩාල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය දේශපාලන අස්ථාවරත්වය වර්ධනය වෙමින් පවතින මොහොතක, චීනය ගත් මෙම තීරණය යුරෝපය සහ චීනය අතර පවතින වෙළඳ සබඳතාවලට ද බලපෑමක් එල්ල කළ හැකිය.













