ලෝක ඉතිහාසයේ කම්කරු ජනතාව ජයග්‍රහණ සැමරූ මැයි දිනය මෙවර ශ්‍රී ලංකාව තුළ අතිශය තීරණාත්මක දේශපාලන හැරවුම් ලක්ෂයක් වනු ඇති බවට පෙරනිමිති පළවෙමින් පවතිනවා. දශක ගණනාවක් තිස්සේ පැවති සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය අභිබවා යමින්, ජාතික ජන බලවේගය විසින් මෙතෙක් නොවූ විරූ ආකාරයේ දැවැන්ත ජන බලයක් වීදි බැස්සවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. “ජන රජයට ජන බලයක්” යන ප්‍රබල තේමාව පෙරදැරිව රට පුරා විසිරී සිටින වැඩකරන ජනතාව එකම අරමුණක් වටා රොද බැඳීමට නියමිත මෙම මැයි දිනය, වර්තමාන රජයේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රබලතම බල ප්‍රකාශනයක් වනු නොඅනුමානයි.
මෙවර විශේෂත්වය වන්නේ තනි ස්ථානයකට සීමා නොවී, මුළු දිවයිනම ආවරණය වන පරිදි මැයි රැලී 21ක් එකවර පැවැත්වීමට ජාතික ජන බලවේගය තීරණය කිරීමයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රධාන මැයි රැලිය මහරගමදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත අතර, එදිනම ජනාධිපතිවරයා නුවරඑළිය නගරයේ පැවැත්වෙන රැලියට ද සහභාගී වෙමින් මැයි රැලි දෙකකදීම ජනතාව ඇමතීමට සූදානමින් සිටිනවා. මීට අමතරව ගාල්ල, මාතලේ, කුරුණෑගල, යාපනය, මඩකලපුව, කඩවත සහ අනුරාධපුරය ඇතුළු ප්‍රධාන නගර රැසකදීම දේශපාලන නායකයන්ගේ මෙහෙයවීමෙන් තවත් රැලී 19ක් එකම මොහොතකදී ක්‍රියාත්මක වනු ඇති.
යාපනය සිට මාතර දක්වාත්, මඩකලපුවේ සිට කොළඹ දක්වාත් විහිදෙන මෙම දැවැන්ත රතු පෙළගැස්ම හරහා ලංකාවේ සෑම කොනකම ජනතා හඬ අවදි කිරීමට රජය බලාපොරොත්තු වනවා. තංගල්ල, කළුතර, කෑගල්ල, ත්‍රිකුණාමලය සහ වැල්ලවාය වැනි දුරස්ථ ප්‍රදේශ පවා ආවරණය කරමින් පවත්වන මෙම රැලි මාලාව හුදෙක් උත්සවයක් පමණක් නොව, එය ජනතාව සතු සැබෑ බලය පාලන තන්ත්‍රය තුළ ස්ථාපිත වී ඇති බව ලොවටම පෙන්වන කැඩපතකි. මැයි පළවැනිදා මහරගම සිට නුවරඑළිය දක්වා ඇදී යන ජනාධිපතිවරයාගේ මෙම ගමන සහ රට පුරා ඇවිළෙන ජන බලය මෙරට දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළනු ඇති බව සහතිකයි.













