චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජූනි 22 සහ 23 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘බ්‍රික්ස්’ (BRICS) රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ 16 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව චීන රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා කළ නිල ආරාධනයකට අනුව වැන්ග් යී මහතා මෙම සංචාරයට එක්වන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි. වැන්ග් යී මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභිකයෙකු සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ද වේ.
වසරකට ආසන්න කාලයකට පසු වැන්ග් යී මහතා ඉන්දියාවේ නිරත වන පළමු සංචාරය මෙය වන අතර, ඔහු අවසන් වරට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉන්දියාවේ සංචාරය කරමින් අජිත් දොවාල් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබුණි.
















