ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින ආර්ථික හා තාක්ෂණික යුද්ධයේ තවත් තීරණාත්මක පියවරක් ලෙස, ඇමෙරිකානු සමාගම් වෙත දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (Rare Earth Minerals) අපනයනය කිරීම චීන සැපයුම්කරුවන් විසින් අත්හිටුවා හෝ ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.
අපනයන බලපත්‍ර (Export Licenses) දැනටමත් ලබාගෙන තිබෙන අවස්ථාවල පවා, බීජිං පාලනාධිකාරියෙන් එල්ල විය හැකි දඬුවම් සහ බාධා කිරීම් කෙරෙහි ඇති බිය හේතුවෙන් චීන අපනයනකරුවන් මෙලෙස ඇමෙරිකාවට සැපයුම් යැවීම අත්හිටුවා ඇත. මෙම හදිසි හිඟය ඇමෙරිකාවේ ආරක්ෂක (Defense), අර්ධ සන්නායක (Semiconductors), අභ්‍යවකාශ (Aerospace) සහ පුනර්ජනනීය බලශක්ති (Energy) ක්ෂේත්රයන් වෙත කෙළින්ම බලපා තිබේ. ඇතැම් ඇමෙරිකානු සමාගම්වලට අපනයන අනුමැතිය ලබාගැනීමට මාස 6කට වැඩි කාලයක් බලා සිටීමට සිදුව ඇති අතර, එමගින් ජාත්‍යන්තර වෙළඳපොළේ මෙම ඛනිජවල මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
ලබන සැප්තැම්බර් 24 වනදා චීන ජනාධිපති ෂී ජින්පිංගේ වොෂින්ටන් සංචාරයට පෙර, පෙර එකඟතාවන්ට අනුව මෙම ඛනිජ සැපයුම් යථා තත්ත්වයට පත්කරන ලෙස වොෂින්ටනය බීජිං පාලනයෙන් ඉල්ලා සිටියි. චිප්ස් (Microchips), මිසයිල සහ තාක්ෂණික මෙවලම් නිෂ්පාදනයට අවශ්‍ය මූලික අමුද්‍රව්‍යවල ආධිපත්‍යය තමන් සතුව පවතින බව චීනය නැවතත් ඇමෙරිකාවට මතක් කර දී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්
















