ජාතික තාක්ෂණික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට සැලකෙන පුරවැසියන්ට රටින් පිටවීම සීමා කරමින් චීනය නව නීති ක්‍රියාත්මක කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
නව පිටවීමේ සහ ඇතුළුවීමේ නීති අද (15) සිට ක්‍රියාත්මක වී ඇති අතර, අපනයන පාලන හෝ තාක්ෂණ ආනයන හා අපනයන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ජාතික කාර්මික හෝ තාක්ෂණික ආරක්ෂාවට හානි සිදුවිය හැකි පුද්ගලයින් මෙම සීමාවන්ට යටත් විය හැකි බව සඳහන් වේ.
චීන රජය මෙම නව නීති ජූලි මාසයේදී හඳුන්වා දී තිබූ අතර, ජාතික ආරක්ෂාවට හෝ ජාතික අවශ්‍යතාවලට හානි වන ආකාරයෙන් විදේශයන්හි නීති විරෝධී හෝ අපරාධ ක්‍රියාවල නිරත වී චීනයට ආපසු පැමිණෙන පුද්ගලයින්ටද විදෙස් ගමන් තහනම් පැනවීමට එම නීති යටතේ අවස්ථාව හිමිවේ.
එවැනි පුද්ගලයින්ට මාස හයක සිට වසර තුනක් දක්වා කාලයක් රටින් පිටවීම තහනම් කළ හැකි බව රොයිටර්ස් වාර්තා කරයි.
චීන පුරවැසියන් සාමාන්‍යයෙන් විදේශ සංචාර සඳහා නිදහසක් භුක්ති විඳින නමුත්, ජාතික ආරක්ෂාවට අවදානමක් ඇති කළ හැකි බවට රජය සලකන පුද්ගලයින්ගේ විදෙස් ගමන් පිළිබඳව දිගු කාලයක සිට දැඩි අවධානයක් යොමු කර ඇති බවද වාර්තා වේ.
නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ තායිවානය සිය පුරවැසියන්ට චීනය සම්බන්ධ සංචාරවලදී වැඩි අවධානයක් යොමු කරන ලෙස අනතුරු අඟවා ඇති බවද සඳහන් වේ.














