බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තරික් රහ්මාන් සිය දෙවැනි විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාවට නොගොස්, සැප්තැම්බර් 21 වැනිදා නිව්යෝර්ක් බලා පිටත්ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පෙබරවාරි මාසයේදී ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු සිදුකරන දෙවැනි නිල විදෙස් සංචාරය මෙය වනු ඇත.
බංග්ලාදේශයේ වැදගත්ම අසල්වැසි රටක් වන ඉන්දියාව සමඟ තවමත් ඔහුගේ නිල ද්විපාර්ශ්වික සංචාරයක් සිදුවී නොමැත. එම සංචාරය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට පෙර සිදුවනු ඇතැයි අපේක්ෂා කළද, එය මේ වනවිට අවිනිශ්චිතව පවතින බව වාර්තා වේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් අඟහරුවාදා සඳහන් කර ඇත්තේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාට ඉන්දියාවෙන් ආරාධනා දෙකක් ලැබී ඇති බවයි.
එක් ආරාධනයක් ද්විපාර්ශ්වික සංචාරයක් සඳහා වන අතර, අනෙක් ආරාධනය BIMSTEC හි සභාපතිවරයා ලෙස BRICS සමුළුවට සහභාගී වීම සඳහා ලබාදී ඇති බව ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, තරික් රහ්මාන්ගේ ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන් බංග්ලාදේශයෙන් මෙතෙක් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පවසා ඇත.
මේ අතර, නිව්යෝර්ක්හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී බංග්ලාදේශයේ නව දැක්ම සහ අනාගත සැලසුම් පිළිබඳව ලෝක නායකයන් හමුවේ අදහස් දැක්වීමට තරික් රහ්මාන් සූදානම් වන බව වාර්තා වේ.
එමෙන්ම, දිගුකාලීනව පවතින රෝහින්ග්‍යා සරණාගත අර්බුදය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඉහළ පෙළේ අතුරු වැඩසටහනක් පැවැත්වීමටද ඔහු සැලසුම් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දියානු සංචාරයට වඩා මේ වනවිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














