අභ්‍යවකාශය සාමකාමීව භාවිත කිරීමට සහ එහි ආරක්ෂාව තහවුරු කිරීමට චීනය දිගින් දිගටම කැප වී සිටින බව පවසන එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් (Guo Jiakun), අභ්‍යවකාශය තුළ කිසිදු යුද තරඟයකට, එය ආයුධ සන්නද්ධ කිරීමට හෝ යුද කලාපයක් බවට පත් කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව ප්‍රකාශ කර තිබේ. අභ්‍යවකාශයේ මිලිටරි ගොඩනැඟීම් තවදුරටත් පුළුල් කිරීමෙන් වළකින ලෙසත්, ස්ථිර ක්‍රියාමාර්ග හරහා ගෝලීය උපායමාර්ගික ස්ථාවරත්වය ආරක්ෂා කරන ලෙසත් ඔහු ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
ඇමරිකානු ගුවන් හමුදා ලේකම් ට්‍රෝයි මේන්ක් (Troy Meink) ඩී.සී. ප්‍රදේශයේ පැවති සමුළුවකදී කක්ෂගත අවකාශීය පාලන ආයුධ (on-orbit space control weapons) සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පළ කළ පිළිගැනීමෙන් අනතුරුව චීනය මෙම දැඩි ප්‍රකාශය සිදු කර තිබේ. මෑතකදී අභ්‍යවකාශයේදී බිඳ වැටුණු බවට සැක කෙරෙන චීන චන්ද්‍රිකාවක් පිළිබඳ කතාබහක් මතුව ඇති පසුබිමක, අභ්‍යවකාශ ගැටුම් තවදුරටත් මනඃකල්පිත හෝ විද්‍යා ප්‍රබන්ධ තත්ත්වයක නොමැති බවට ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.














