ඉන්දු-පැසිෆික් සැපයුම් ජාලය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන Quad සාමාජික රටවල් එකතුවී විශේෂ සැලසුම් අභ්‍යාසයක් ජපානයේ ටෝකියෝ නුවරදී පවත්වා තිබේ. 2026 මැයි මාසයේ පැවැති ක්වාඩ් විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේ එකඟතාවට අනුව, ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මෙම අභ්‍යාසය සංවිධානය කර ඇත. මීට පෙර 2025 අප්‍රේල් මාසයේ හවායි හි සහ දෙසැම්බර් මාසයේ ගුවාම් හි පැවති පුහුණු අභ්‍යාසවල සාර්ථකත්වය මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.
ස්වාභාවික ව්‍යසනයන් ඇතිවන අවස්ථාවලදී සහන සැලසීමේ ක්‍රියාවලීන් මූලික කරගනිමින් මෙය පවත්වා ඇති අතර, එහිදී රටවල් හතර අතර සැපයුම් හා ප්‍රවාහන හැකියාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ආකාරය සහ සහයෝගීතාව තවදුරටත් විධිමත් කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කර ඇත. මෑතකදී ඇතිවූ විනාශකාරී තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වූවන් වෙත ශෝකය පළ කර ඇති ක්වාඩ් රටවල්, කලාපීය පාර්ශ්වකරුවන්ට අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවකදී සහාය වීමට සූදානම් බව යළිත් අවධාරණය කර තිබේ.














