දකුණු චීන මුහුද සම්බන්ධයෙන් 2016 වසරේ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා ලෙස රටවල් 14ක් යළිත් අවධාරණය කිරීමෙන් අනතුරුව, එම මුහුදු කලාපය සම්බන්ධයෙන් චීනය සිය භෞමික හිමිකම් යළිත් සාධාරණීකරණය කර තිබේ.
ජපානය, ඇමරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් 12ක් විසින් එම තීන්දුවේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය මෙම කරුණු අවධාරණය කළේය. දකුණු චීන මුහුදේ පවතින අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විනිශ්චය ලබාදීමට හෝ මැදිහත් වීමට කිසිදු බාහිර රටකට අයිතියක් නොමැති බව චීනය පවසයි.
එම මුහුදු කලාපය සිය ඉතිහාසයට සහ දේශපාලන ස්ථාවරත්වයට ඉතා වැදගත් බවත්, ජාත්‍යන්තර මැදිහත්වීම් තමන්ගේ ස්වෛරීභාවයට එල්ල කරන අභියෝගයක් බවත් චීනය වැඩිදුරටත් අවධාරණය කර සිටී. ජාත්‍යන්තර නීති සහ රීති පදනම් කරගනිමින් කලාපීය සාමය පවත්වා ගැනීම සඳහා බලපෑම් කිරීමට මෙම රටවල් උත්සාහ කළද, චීනය දිගින් දිගටම පවසා සිටින්නේ එම ප්‍රදේශයේ අයිතිය පිළිබඳ ගැටලු විසඳාගත යුත්තේ ඒ සඳහා සම්බන්ධ වන පාර්ශ්වකරුවන් විසින් පමණක් බවයි.
















