ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉදිරි චීන සංචාරයත් සමඟ චීනයේ ගිනිකෙළි කර්මාන්තය දැවැන්ත ප්‍රබෝධයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම එළඹෙන ජූලි 04 වනදාට යෙදෙන ඇමරිකානු නිදහස් දිනයේ 250 වන සංවත්සරය වෙනුවෙන් චීන ගිනිකෙළි සඳහා වන ඇමරිකානු ඇණවුම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 15 සිට 30 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ පැවති අධික බදු බාධක ඉවත් වීමත් සමඟ මෙම වසරේ සැමරුම් වෙනදාට වඩා උත්කර්ෂවත් වනු ඇති බව කර්මාන්තකරුවෝ පවසති.
වසර 1300ක පමණ ඉතිහාසයක් ඇති චීනයේ ලිලින් ප්‍රදේශයේ ගිනිකෙළි කම්හල් මේ වන විට ඇමරිකානු වෙළඳපොළ ඉලක්ක කරගත් නිෂ්පාදනවලින් පිරී පවතින අතර ඇතැම් ගිනිකෙළි පෙට්ටිවල ට්‍රම්ප්ගේ රුව සහ “Make America Great Again” වැනි පාඨයන් පවා ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර පවතින වෙළඳ සබඳතාවය කිසිසේත් බිඳ දැමිය නොහැකි බවත් චීනයේ සමස්ත ගිනිකෙළි අපනයනයෙන් සියයට 40ක්ම මිලදී ගන්නේ ඇමරිකාව බවත් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මැයි මැද භාගයේදී පැවැත්වෙන ට්‍රම්ප්ගේ මෙම බෙයිජිං සංචාරය දෙරට අතර පවතින වෙළඳ අර්බුදයට තාවකාලික සටන් විරාමයක් වනු ඇති බව ඇමරිකානු වාණිජ මණ්ඩලය විශ්වාස කරයි. චීනයෙන් ඉවත් වීම ඇමරිකානු පාරිභෝගිකයන්ට විශාල පාඩුවක් වන අතර උසස් තත්ත්වයේ අඩු මිල භාණ්ඩ ලබා ගැනීමට චීනය සමඟ සබඳතා පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. ඒ අනුව මෙම වසරේ ඇමරිකානු අහස චීන ගිනිකෙළිවලින් වඩාත් වර්ණවත් වනු ඇති බව නොඅනුමානය.














