රටේ පවතින විවිධ අභියෝග මධ්‍යයේ වුවද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට ගෙන යාම දරාගත නොහැකිව විපක්ෂය අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. “දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය ඉතා කෙටි කලකින් යථා තත්ත්වයට පත් කිරීමට රජය සමත් වූ බවත් විපක්ෂය කොතරම් ශබ්ද නඟා බොරු කීවත් බුද්ධිමත් ජනතාව ඒවාට රැවටෙන්නේ නැති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සුළි කුණාටුවෙන් හානි වූ නිවාස සහ යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හදිසි නීතිය දීර්ඝ කිරීමට රජය පියවර ගත් අතර එය කිසිසේත්ම මාධ්‍ය නිදහස හෝ කථන නිදහස සීමා කිරීමට ගත් පියවරක් නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. කුණාටුවෙන් නිවාස 110,000කට අර්ධ හානි සිදු වූ අතර සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 6,000ක් අතුරින් නිවාස 1,000ක වැඩ කටයුතු මේ වන විටත් නිම කර තිබේ. එමෙන්ම ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලු පැවතියද මැයි මාසය තුළ වන්දි ගෙවීම් වේගවත් කිරීමට රජය උපදෙස් දී ඇති බව ද සඳහන් විය.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඉන්ධන කෝටා ක්‍රම හඳුන්වා දෙමින් මෙරට ආර්ථිකය ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කළේ වත්මන් රජය බව අමාත්‍ය රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය. බංකොලොත් වී තිබූ ආර්ථිකය යළි ගොඩනඟමින් නතර වී තිබූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව විපක්ෂය මහත් කලකිරීමකින් පසුවන බවත් රජයේ ගමන් මඟට බාධා කිරීමට ඔවුන් විවිධ උත්සාහයන් ගන්නා බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.














