මෝටර් රථ, බැටරි සහ සූර්ය කෝෂ නිෂ්පාදනයෙන් ලොව ප්‍රමුඛයෙකු වූ චීනය, මේ වන විට නැවුම් පලතුරු සහ උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදනය දෙසට සිය අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම යුනාන් පළාත කේන්ද්‍ර කරගනිමින් දියත් කර ඇති මෙම කෘෂිකාර්මික ව්‍යාපෘතිය සඳහා විද්‍යුත් වාහන කර්මාන්තයට ලබාදුන් ආකාරයේ රාජ්‍ය සහනාධාර සහ මූල්‍ය පහසුකම් යොදා ගනිමින් පවතී.
චීනය අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ විශේෂ කරුණු අතර, චීනය මේ වන විට ලොව විශාලතම බ්ලූබෙරි නිෂ්පාදකයා බවට පත්වීම සහ ටිබෙට් දේශසීමාවේ උසස් තත්ත්වයේ කෝපි සහ වයින් නිෂ්පාදනය කිරීම කැපී පෙනේ. මීට අමතරව 2021 විවෘත කළ චීන-ලාඕස් දුම්රිය මාර්ගය සහ නවීන ශීත දාම ජාලය නිසා පලතුරු ප්‍රවාහන හා බෙදාහැරීමේ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
චීන පාරිභෝගිකයින්ගේ ආහාර රටාවේ ඇතිවූ වෙනස්කම් හේතුවෙන්, ආහාරවල මූලාරම්භය සහ වෙළඳ නාමයේ කීර්තිය පිළිබඳ දැඩි අවධානයක් යොමු වී ඇත. චීන වැසියෙකුගේ වාර්ෂික පලතුරු පරිභෝජනය මේ වන විට කිලෝග්‍රෑම් 60 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය කිලෝග්‍රෑම් 52ක් වන ගෝලීය සාමාන්‍යයට වඩා වැඩිය.
කෙසේ වෙතත්, චීනය නිෂ්පාදනය කරන උසස් තත්ත්වයේ ආහාර වර්ග සඳහා ගෝලීය වෙළෙඳපොළේ පවතින පිළිගැනීම තවමත් ප්‍රංශ හෝ වෙනත් ජාත්‍යන්තර වෙළඳ නාම මට්ටමට ළඟා වී නොමැත. එම කීර්තිනාමය ගොඩනගා ගැනීම සහ ගෝලීය වශයෙන් දේශීය වෙළඳ නාම ප්‍රචලිත කිරීම චීනය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බව වාර්තා වේ.














