යාපනය නාගදීප ගණේෂා විද්‍යාලයේ විදුහල්පතිවරයා බෝට්ටු සවාරියක් අතරතුර මුහුදට වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් නව පැමිණිල්ලක් බලධාරීන්ට ඉදිරිපත් කර තිබේ. මෙය හුදු අනතුරක් නොව, බෝට්ටුවේ ගමන් කළ වෙනත් අයෙකු විසින් විදුහල්පතිවරයාව හිතාමතාම මුහුදට තල්ලු කර ඇති බවට ඥාතීන් දැඩි සැකයක් පළ කරති.
පසුගිය මැයි 28 වැනිදා නඬරාසා මයුරන් මහතා බෝට්ටුවෙන් පාසල බලා යමින් සිටියදී දියේ ගිලී මියගිය බවට මුලින් වාර්තා වුවද, මියගිය විදුහල්පතිවරයා සමඟ තවත් පුද්ගලයෙකු එදින බෝට්ටුවේ ගමන් කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.
ඥාතීන් පෙන්වා දෙන පරිදි, බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයා විදුහල්පතිවරයාට එරෙහිව නිරන්තරයෙන් පෙත්සම් ඉදිරිපත් කළ අයෙකු වන අතර, ඔහුගේ බිරිඳ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක් ලෙස සේවය කරයි. මීට අමතරව, එම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා ද විදුහල්පතිවරයාට එරෙහිව ද්වේශසහගත ප්‍රකාශ පළ කර තිබේ. සිද්ධියෙන් පසු අදාළ පුද්ගලයා ගොඩබිමට පැමිණ සිනාසෙමින් කිසියම් අයෙකු සමඟ දීර්ඝ දුරකථන සංවාදයක නිරත වූ බවට ද සාක්ෂිකරුවන් සිටින බව වාර්තා වේ.
මෙම සැක සහිත කරුණු පදනම් කර ගනිමින් සිද්ධිය පිළිබඳව විධිමත් හා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පවුලේ සාමාජිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ වන විට කයිට්ස් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රශ්න කිරීම් සඳහා බෝට්ටුකරු යළි අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටී.
මියගිය විදුහල්පතිවරයාගේ පුත්‍රයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව සිටියද, තම දරුවාගේ එම ජයග්‍රහණය දැක බලා ගැනීමට පියා ජීවතුන් අතර නොසිටීම සමාජයේ දැඩි කම්පනයට හේතු වී ඇත.















