චීන ජනාධිපති ෂී ජින් පින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර නිල සාකච්ඡා අද (14) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. මෙම හමුවේදී චීනය සහ ඇමෙරිකාව ප්‍රතිවාදීන් නොවී හවුල්කරුවන් ලෙස කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ චීන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ නායකයෙකු බවයි.
බෙයිජිං වෙත පැමිණි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර මහජන මහා ශාලාව අසලදී හමුදා ආචාර මධ්‍යයේ නායකයන් දෙපළ අතට අත දෙන අවස්ථාවේ චීන දරුවන්ගේ ඔල්වරසම් හඬ ද වාර්තා විය. දෙරට අතර මෙම හමුව අන් කවරදාටත් වඩා සාර්ථක වනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් මෙහිදී විශ්වාසය පළ කළේය. 2026 වසර දෙරටේ සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් වනු ඇති බවට චීන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ද මෙහිදී විශේෂත්වයක් ගත්තේය.
නායක දෙපළ අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් රාජ්‍ය භෝජන සංග්‍රහයකට ද සහභාගී වීමට නියමිතව ඇත. ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා ප්‍රධාන රටවල් දෙකක් ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙම සංචාරයේදී දැඩි ලෙස අවධාරණය කෙරිණි.
















