ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ චීන සහ ශ්‍රී ලංකා විද්‍යාඥයන් ඒකාබද්ධව සිදු කිරීමට සැලසුම් කර තිබූ සාමාන්‍ය සමුද්‍රීය විද්‍යාත්මක පර්යේෂණ කටයුතු විවිධ බාධා කිරීම් හේතුවෙන් ප්‍රමාද වී ඇති බව චීන තානාපති චී ෂෙන්හොං මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ පැවැති ‘Colombo Maritime Dialogue’ සමුළුවේදී ඔහු මේ බව අවධාරණය කළේය.
පර්යේෂණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තම ස්වෛරීභාවය සහ ගෞරවය සලකා බලා ඉක්මනින් නිවැරදි තීරණයක් ගනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කළේය. 2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ කළ සංචාරයේදී අන්‍යෝන්‍ය විශ්වාසය මත සමුද්‍රීය සහයෝගීතාව පවත්වාගෙන යාමට දෙරටම එකඟ වූ බව ඔහු සිහිපත් කළේය. ඉන්දියන් සාගරය මහා බලවතුන්ගේ ගැටුම්කාරී පිටියක් නොවිය යුතු බවත්, එය සාමය සහ සංවර්ධනය සඳහා වූ කලාපයක් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම සහ ආපදා සහන වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට මෙන්ම නිල් ආර්ථික හවුල්කාරිත්වයක් කරා ගමන් කිරීමට ද දෙරට එකඟ වී තිබේ.
















