පරිගණක මූල්‍ය අපරාධ සිදු කිරීමේ අරමුණින් මෙරටට පැමිණි චීන ජාතිකයන් නව දෙනෙකු රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ අද (16) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් විය. මොවුන් අද අලුයම 12.25 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණ තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවුන් සිය සිරුරේ සහ ඇඳුම් තුළ සෙලෝටේප් ආධාරයෙන් ඉතා සූක්ෂ්ම ලෙස උපකරණ සඟවාගෙන සිට ඇත. එහිදී පාවිච්චි කරන ලද ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. සැකකාර චීන ජාතිකයන් පිරිස මේ වන විට රඳවාගෙන සිටින අතර රේගු නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














