තුර්කියේ ගිනිකොනදිග කලාපයේ පිහිටි පාසලක 14 හැවිරිදි සිසුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිසුන් අට දෙනෙකු සහ ගුරුවරයෙකු ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි. බදාදා දිනයේ කහ්රමන්මාරස් (Kahramanmaras) පළාතේ පිහිටි මධ්‍ය විද්‍යාලයක මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, මෙය දින දෙකක් ඇතුළත තුර්කියේ පාසලක සිදුවූ දෙවන වෙඩි තැබීමයි.
තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුස්තාෆා සිෆ්ට්චි (Mustafa Ciftci) සඳහන් කළේ මෙය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක් නොව සිසුවෙකු විසින් පුද්ගලික මට්ටමින් සිදුකරන ලද්දක් බවයි. ප්‍රහාරයෙන් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
ප්‍රාදේශීය ආණ්ඩුකාර මුකෙරෙම් උන්ලුයර් (Mukerrem Unluer) ප්‍රකාශ කළේ, අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා සිය පියාට අයත් ගිනි අවි කිහිපයක් රැගෙන විත් පස්වන ශ්‍රේණියේ පන්ති කාමර දෙකකට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි තැබීමෙන් අනතුරුව එම සිසුවා ද සියදිවි නසාගෙන තිබේ. තුර්කියේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 10 සහ 11 පසුවන දරුවන්ය. ඉකුත් අඟහරුවාදා ද තුර්කියේ සන්ලියුර්ෆා (Sanliurfa) හි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබුණි.














