වලංගු වීසා බලපත්‍රයක් සහිතව මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස පිටුවහල් කළ බව කියන චීන ජාතික කාන්තාවක වන ජින්ජින් ලියාඕ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ඊයේ (28) සලකා බලන ලදී. තමා නීත්‍යානුකූල සංචාරක වීසා මත මෙරට සිටියදී වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන තම කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් පිටුවහල් කිරීමට එරෙහිව ඇය මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත. පසුගිය මාර්තු 29 වනදා තවත් පුද්ගලයින් 125 දෙනෙකු සමඟ විශේෂ ගුවන් යානයකින් ඇයව චීනය වෙත පිටුවහල් කර ඇති අතර, දැනට ඇය සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරු නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.
මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ, අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ලේඛනවලට ඇයගේ අත්සන ලබා ගැනීමට ආගමන විගමන නිලධාරීන් ඉඩ ලබා නොදුන් බවයි. කෙසේ වෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීත්‍යානුකූල බව සනාථ කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරන බවයි. ඒ අනුව, මෙම නඩුවට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන ජූනි මස 02 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.














