ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයකම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (29) තවදුරටත් පහත වැටී තිබේ. ඊයේ දිනයට සාපේක්ෂව වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.10ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 322.85ක් ලෙසත් නොවෙනස්ව පවතින අතර, එන්.ඩී.බී (NDB) බැංකුවේ විකුණුම් මිල රුපියල් 321 සිට 322.75 දක්වා ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ අද දින වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.82ක් සහ විකුණුම් මිල රුපියල් 322.79ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම කොමර්ෂල් බැංකුවේ විකුණුම් මිල රුපියල් 322.75ක් ලෙසත්, සම්පත් බැංකුවේ විකුණුම් මිල රුපියල් 322.50ක් ලෙසත් සටහන් විය. මේ අනුව බොහෝ වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 322 සීමාව ඉක්මවා ස්ථාවරව පවතින බව පෙනී යයි.














