ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනිවාර්ය SLS ප්‍රමිති සහතික ලාංඡනය නොමැතිව විදුලි දිගු රැහැන් අලෙවි කිරීම ඇතුළු චෝදනා යටතේ බණ්ඩාරවෙල පිහිටි CIB Shopping Centre (Vijaya Sri Group Pvt Ltd) ආයතනයට රුපියල් 400,000ක (ලක්ෂ 4ක) දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අදාළ ආයතනයට එරෙහිව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා හතරක් යටතේ මෙම නඩුව පවරා තිබුණි. 2026 අගෝස්තු 28 වැනිදා සිදුකළ වැටලීමකදී, අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 63 දරන විධානය උල්ලංඝනය කරමින් SLS ප්‍රමිති ලාංඡනය නොමැති විදුලි දිගු රැහැන් රුපියල් 2,790ක මිලකට අලෙවිකිරීමට තබා ඇති බව අනාවරණය වී ඇත.
ඊට අමතරව, අදාළ භාණ්ඩ සඳහා අවම වගකීම් කාලයක් ලබා නොදීම සහ සැපයුම්කරුවන්ගෙන් ලබාගත් නීත්‍යානුකූල බිල්පත් නොමැතිව භාණ්ඩ අලෙවියට තබා තිබීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබූ අතර, අධිකරණය හමුවේ අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකාර සමාගමට මෙම දඩ මුදල නියම කෙරිණි. වෝල්ට් 250 නොඉක්මවන ඇතැම් විදුලි උපාංග සඳහා අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය තිබිය යුතු අතර, විදුලි අනතුරු සහ ගිනිගැනීම් වළක්වා ගැනීම සඳහා විදුලි උපාංග මිලදී ගැනීමේදී SLS ප්‍රමිති ලාංඡනය, වගකීම් කාලය සහ නීත්‍යානුකූල බිල්පත පරීක්ෂා කර බැලීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බවද මෙහිදී අවධාරණය කර තිබේ.














