මහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකිව යුතු බවට මුදල් අමාත්‍යාංශය මඟින් සකස් කළ විශේෂ වාර්තාවකින් පෙන්වා දී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මෙම අතිශය ආන්දෝලනාත්මක මූල්‍ය අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (08) පස්වරුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි. ඒ සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කැඳවා තිබූ බව වාර්තා වේ.
ඊයේ රාත්‍රී ‘ටීවී දෙරණ’ නාලිකාව ඔස්සේ විකාශය වූ ‘360’ කාලීන දේශපාලන වැඩසටහන සමඟ සජීවීව එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වත්මන් තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.
“මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම හෝ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති නිල වාර්තාව පිළිබඳව ඊයේ පැවැති කාරක සභා රැස්වීමේදී අප දීර්ඝ වශයෙන් අවධානය යොමු කළා. එම වාර්තාවට අනුව මෙම සිදුවීමට මහ බැංකුව ද වගකිව යුතු බවයි පෙනී යන්නේ. ඒ නිසා, මෙම බරපතළ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් මහ බැංකුවේ නිල ස්ථාවරය සහ කරුණු දැක්වීම කාරක සභාව වෙත ලිඛිතව දැනුම් දීම සඳහා ඔවුන්ට සතියක (දින 07ක) නිශ්චිත කාලයක් ලබා දීමට අප තීරණය කළා.”
මහා භාණ්ඩාගාරයේ මුදල් මෙලෙස අස්ථාන ගතවීම රටේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම රාජ්‍ය මූල්‍ය විනය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, මේ පිළිබඳව කඩිනම් සහ විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් පවත්වා ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට කාරක සභාව අපේක්ෂා කරයි.
















