බොරැල්ල, එන්.එම්. පෙරේරා මාවතේ පිහිටි නිවසක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන, ජාතික හැඳුනුම්පත් සහ වාහන අංක තහඩු නිෂ්පාදනය කරන ජාවාරම් මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගිය 06 වන දින වටලනු ලැබීය. මෙම වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු සහ රුපියල් ලක්ෂ 15ක මුදලක් ඇතුළු දේපළ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයෙකු, ව්‍යාපාරිකයෙකු සහ කම්කරුවෙකු සිටින අතර ඔවුන් වයස අවුරුදු 54, 55 සහ 59 යන වයස්වල පසුවන්නන් වේ. සැකකරුවන් දෙදෙනෙකු බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත තෙවැනි සැකකරු නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීමේදී පොලිස් භාරයට ගත් දේපළ අතර විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු, සාමදාන විනිසුරු, නොතාරිස් සහ නීතිඥවරුන්ගේ ව්‍යාජ නිල මුද්‍රා 600ක්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අයත් ඔප්පු පිටපත්වල මුල් ගොනු 02ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 04ක්, ලිපි ලේඛන සකස් කිරීමට යොදාගත් විද්‍යුත් උපකරණ සහ ටයිප් රයිටර් මෙන්ම අපරාධ සඳහා යොදාගත් මෝටර් රථයක්, යතුරුපැදියක් සහ රුපියල් ලක්ෂ 15ක මුදලක් වේ.
පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට නියමිත මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















