අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට එහිදී අමානුෂික ලෙස සලකන බව පවසමින් අද (08) CID මූලස්ථානය ඉදිරිපිට පවත්වනු ලැබූ සංවේදී මෙන්ම කෝපාවිෂ්ට විරෝධතාවය අතරතුර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වූයේ විරෝධතාකරුවන් මහමඟ රැඳී සිටිමින් සිය විරෝධය පළ කරමින් සිටි අවස්ථාවේදී, ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) නම සහිත පුවරුවක් අතැතිව පැමිණි පුද්ගලයෙකු එම විරෝධතාවයට එරෙහිව ප්‍රති-විරෝධතාවයක නිරත වීමට උත්සාහ කිරීමත් සමඟය.
පත්තර කොළයක බෙදූ බත් සහ රාබු මුවින් පමණක් අනුභව කරමින්, “බල්ලෙක් වගේ මෙහෙමද කන්න ඕන?” යනුවෙන් පවසමින් එතැන සිටි පිරිස් ඉතා හැඟීම්බරව බලධාරීන්ට චෝදනා එල්ල කරමින් සිටි පසුබිමක, මෙම මාලිමා පාක්ෂිකයාගේ පැමිණීම එතැන සිටි පිරිස්වල දැඩි කෝපයට හේතු විය.
එහිදී විරෝධතාවයේ නිරතව සිටි පිරිස් සහ අදාළ මාලිමා පාක්ෂිකයා අතර දැඩි වචන හුවමාරුවක් සිදු වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට ද මැදිහත් වීමට සිදු විය.
















