මියන්මාරය වැනි රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බරපතළ අවදානමක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි. ලිහිල් ආගමන විගමන නීති, පහසුවෙන් වීසා ලබාගත හැකි වීම, වේගවත් අන්තර්ජාල සබඳතා සහ අඩු මිලට යටිතල පහසුකම් සපයාගත හැකි වීම මෙරට සයිබර් අපරාධකරුවන් ආකර්ෂණය වීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.
විශේෂයෙන්ම කාන්තාවන් ලෙස පෙනී සිටිමින් විදෙස් රටවල පුද්ගලයන් සමඟ සබඳතා ඇති කරගෙන මුදල් වංචා කිරීම සහ සාවද්‍ය ආයෝජන අවස්ථා පෙන්වා මුදල් ඩැහැගැනීම මොවුන්ගේ ප්‍රධාන උපක්‍රම බව විමර්ශන නිලධාරීන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීමේ අවදානමක් ද පවතී. චීන, තායිවාන හෝ වියට්නාම ජාතිකයින් පිරිසක් සැකකටයුතු ලෙස එක් ස්ථානයක රැඳී සිටින්නේ නම් ඒ පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.














